මහා පට්ඨාන විශ්ලේශණය 03
චිත්ත වීථි හා පට්ඨානය
චිත්ත වීථි බුදු දහමේ ඉගැන්වෙන ඉතා ගාම්භීර විෂයකි. චිත්ත වීථියක් සරලව දකින්නේ නම් එකක් අනිකට ප්‍රත්‍ය වන චිත්ත පරම්පරාවක අඛණ්ඩ පැවැත්මකි. සත්‍ය වශයෙන්ම සත්වයා ලෙස දැක්විය හැක්කේ අවිච්ඡින්න වූ චිත්ත වීථියකි. සත්වයෙකුගේ වැදගත්ම ලක්ෂණය නම් ඒ සත්වයාට ආවේණික වූ අවිච්ඡින්න වූත් කෙළවරක් නොදැකිය හැකි ( සැබවින්ම ආරම්භයක් නොමැති )අති දීර්ඝ චිත්ත පරම්පරාවයි. මේ චිත්ත පරම්පරාව මරණයෙන් කෙළවර නොවේ , වියපත් වීමෙන් , නැවත ඉපදීමෙන් ආදී කිසිවකින් සිත් පරපුර සිදී නොයයි. ඒ ඒ අත් බැව් හිදී සත්වයාගේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ඇසුරු කර ක්‍රියාත්මක වන මේ සිත් පරපුරේ දළ ස්වභාවය විඤ්ඤාණයයි. සත්වයා යනුවෙන් පණවනු ලබන්නේ රූප , වේදනා , සඤ්ඤා , සංඛාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධයයි. අඛණ්ඩව පවතින චිත්ත පරම්පරාවම කර්ම රැස් කිරීම මෙන්ම විපාක ඇති කිරීමද සිදු කරයි. එසේම එක් චිත්ත පරම්පරාවක් පමනක් එක් සත්වයෙකුට ඇත. අනුපාදිසේස නිර්වාණයෙන් කෙළවර වන තුරු සිත් පරපුර රහතන් වහන්සේ තුළද ඇතිවේ. ඒ නිසා රහත් වුවද රහතන් වහන්සේද පංචස්කන්ධ පරිහරණය කරන සත්වයෙක් වේ.
සිත් හට ගැනීම හා චිත්ත වීථි වල පැවැත්ම ගැන අභිධර්මය පරිශීලනයෙන් දත යුතුය. මේ ලිපියෙන් චිත්ත වීථි වල ප්‍රත්‍යොත්පන්න ස්වභාවය සාකච්ඡා කරනු ලැබේ.සිත් හට ගැනීමේ මූලික නියම පහත පරිදි දැක්විය හැකිය.
1.සිතක අවස්ථා තුනකි . ඒවා උප්පාද තිථි හා භංග අවස්ථාවේ. ඒ අවස්ථා තුනෙන් යුතුව සිතක් ඉපිද නිරුද්ධ වීමට ගතවන කාලය එක් චිත්ත්ක්ෂණයකි.සියලු සිත් වල ආයු කාලය සමානය. සෑම සිතකම ආයු කාලය නම් චිත්තක්ෂණ එකමය.
2. එක් සිතක් ඇතිවී නිරුද්ධ වූ පසු අනික් සිත ඇතිවේ. එක වර හෝ අති පිහිත වෙමින් ( overlapping ) සිත් හට නොගනී. එක් සිතක් නිරුද්ධ වූ පසු අනික් සිත හට ගනී.
3.එක් සිතක් නිරුද්ධ වී අනික් සිත හට ගැනීමත් අතර කාල පරතරයක් නැත. අංශු මාත්‍ර හෝ පරතරයක් නොමැත්තේමය.
4.සිත් හටගන්නේ චෛතසික සමගමය. සිත් නිරුද්ධ වන විට ඒ හා ඇති චෛතසික සියල්ලද නිරුද්ධ වේ.
5.පංච වෝකාර භූමි වන කාම ලෝක හා රූපී බ්‍රහ්ම ලෝක වල සිත් හටගන්නේ රූපයක් ආශ්‍රය කරගෙනමය. ඒ රූප කලාපයක් ආශ්‍රය කර නොගෙන සිතක් හට නොගනී. ( චක්ඛු වස්තු , සෝත වත්ථු ... හදය වත්ථු )
6. ඒ නිසා චිත්ත වීථියක ආයුෂය රූප කලාපයේ ආයුෂයට සමාන වේ. රූප කලාපයක ආයුෂය චිත්තක්ෂණ 17 කි. රූප කලාපයක් ආශ්‍රය කරගෙන ඇතිවන සිතක් හට හටගැනීමට රූපය නිඃශ්‍රය ප්‍රත්‍යයෙන් ආධාර වේ . රූප කලාපය නැති වීමෙන් ප්‍රත්‍ය නැති වී ගොස් සිත් හට ගැනීම නවතී. නමුත් වෙනත් රූප කලාපයක් ආශ්‍රය කරගෙන ඒ මොහොතේම සිත් හටගනී.මේ නිසා එක් චිත්ත වීථියක තිබිය හැකි උපරිම සිත් සංඛ්‍යාව 17 වේ.
7. සිත් හට ගැනීමට මූලික වූ ඉන්ද්‍රිය ( ද්වාරය ) නමින් චිත්ත වීථිය නම් කරයි . මේ අනුව චිත්ත වීථි වර්ග 6 කි.( චක්ඛුද්වාරික , මනෝද්වාරික ...)
8.අදාළ ද්වාරයෙන් අරමුණ ග්‍රහණය කරන කළ ( භවංග චලනය සිදුවන අවස්ථාව වන විට )සිත ඇසුරු කරන රූප යේ ආයුෂය අනුව චිත්ත පරම්පරා අතිමහන්තාරම්මණ , මහන්තාරම්මන , පරිත්තාරම්මණ , අති පරිත්තාරම්මණ ලෙස 4 ට බෙදේ. (මනෝද්වාරික වීථි විභූතාරම්මණ අවිභූතාරම්මණ ලෙස බෙදේ )
9. කර්ම රැස් කරන චිත්ත වීථියක ( මහන්තාරම්මණ , අති මහන්තාරම්මණ )අදාළ කර්මයන් සෑම විටකම ජවන සිත් වලින් සිදුවේ. එසේම සෑම චිත්ත වීථියකම ජවන සිත් 7 ක් එක දිගට හට ගැනීම සිදුවේ . වෙනත් සංඛ්‍යාවන්ගෙන් ජවන් සිත් හට නොගනී ( චුති චිත්ත වීථියේදී පමණක් ජවන් සිත් 5 ක් හටගනී )
10.චිත්ත වීථියක සෑම විටම මුල් සිත දෙවන සිතට ප්‍රත්‍ය වෙමින් ( අනන්තර ප්‍රත්‍ය හා සමනන්තර ප්‍රත්‍ය පවතී )ඇතැම් අවස්ථාවල අනාගතයේ ඇතිවන සිතක් වර්තමානයේ සිතට ප්‍රත්‍ය වේ ( පශ්චාජාත ප්‍රත්‍යය )
දැන් ඉහත කරුණු තරමක් ගැඹුරින් විෂ්ලේශණය කරමු.
චිත්තක්ෂණය නම් මේ මුළු මහත් විශ්වයේම ඇති කුඩාම කාල ඒකකය වේ. කොතරම් කුඩා දැයි කිව හොත් ඊට වඩා කුඩා කාල ඒකකයක් බ්‍රහ්මයෙකුටවත් පැනවිය නොහැක. මන්ද පැනවිය යුතු වන්නේද සිතින්මය. සිතක ආයුෂය චිත්තක්ෂණ 1 කි. රූප පර්මාර්ථය සළකන කල්හි ශුද්ධාෂ්ටකයක ආයුෂය චිත්තක්ෂණ 17 කි. ශුද්ධාෂ්ටකයක් හටගත් මොහොත එක් චිත්තක්ෂණයක් උප්පාද කොටසටද 15 ක් තිථි කොටසටද 1ක් භංග කොටසටද බෙදා දක්වයි. රූප කලාපයක් සෑම විටම එක ලෙස නොපවතී. හටගත් මොහොතේ සිට පිරිහේ. ( සබන් බෝල මෙනි )රූප කලාප සියල්ලටම සිත් හට ගැනීමේ බලයක් නැත. සත්වයෙකුගේ රූප කලපයන්ම පමණක් චිත්ත් වීථි ආශ්‍රය කරයි. ගස් ගල් වලට චිත්ත වීථි නැත. සත්වයෙකුගේ ශරීරයේද බොහෝ රූප කලාප ඇත . ඒව ගස් ගල් වල රූප කලාප වලින් වෙන්සය.( ගස්ගල් වල ශුද්ධාෂ්ටක ඇත. සත්ව සෛල නිර්මිත රූප කලාප වල අතිරේක ලෙස ජීවිත රූපය පමණක් හෝ ඇත. )මේ සියල්ලටම සිත් හට ගැනීමේ හැකියාවක්ද නැත. සත්වයෙකුගේ සිත් හට ගන්නේ එක්තරා ස්වල්ප රූප කලාප ආශ්‍රය කරගෙන පමණි . චක්ඛු සෝතාදි දසක රූප කලාපද හදය වත්ථුවද සිත් හට ගත හැකිය. එක් මොහොතක මේ රූපයන්ද කෝටි ප්‍රකෝටි ගණනින් හටගෙන නිරුද්ධ වේ.ඒ නිසා ඒවායින්ද අවස්ථානුරූපව එක් රූපයක ඒ ඒ චිත්තක්ෂණයේදි සිත හට ගනී.හදය දසකයක් හා චක්ඛු සෝතාදි පසාද රූප පහ ඇති දසක කලාප 5 ක් පමණක් තිබුණද( මේ ටික පමණක් ඇත්නම් ශරීරය ඉලෙක්ට්‍රෝනයකටත් වඩා කුඩාය )සත්වයෙක් වීමට ප්‍රමාණවත්ය .අරූපී බ්‍රහ්මයෙකුට මේ ටිකවත් නැත. ඒ නිසා අරූපී බඹ තල වල සිත් හට ගැනීමට රූප අනවශ්‍යය. රූප පදාර්ථයන් සත්වයෙකුට සිත් හට ගැන්මට උපකාර වන්නේ චිත්‍රයක් ඇදීමට කොළයක් උපකාර වන්නාක් මෙනි. කොළය නැතුව චිත්‍රය ඇදිය නොහැක. චිත්‍ර ඇදීමට උපකාර වන පෘෂ්ටය මෙන් කරන උපකාරය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ. ඇතැම් සිත් රූප කලාපය නිසා ඇතිවන අතරම චිත්තජ වශයෙන් රූප කලාපයන් ඇතිකිරීමද සිදුකරයි. එවන් අවස්ථාවක සිත රූපයටද රූපය සිතටද අන්‍යෝන්‍ය ලෙස ප්‍රත්‍ය වේ. මෙහිදී රූපය පෘෂ්ටයක් මෙන් ක්‍රියා නොකරයි. පන් පට දෙකක් වර්ණ ගන්වා ඒ දෙක වියමින් පැදුරක් සාදන්නා සේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වීම සහජාත නිඃශ්‍රය ප්‍රත්‍ය වේ.
පුනර්භවය සිදුවන්නේ මෙසේය.පුනර්භවය සිදුවෙමේ දීඅවසාන චුති සිත මගින් කර්මජ වශයෙන් රූප කලාපයක් යම් ස්ථානයක හටගන්වා ( ඒකජ කාය ) එය ආශ්‍රය කරගෙන එක් වනම සිත් පරපුර පවතින්නට ගනී. ඉන් පසුව සිත් හට ගැනීම වශයෙන් චිත්තජ රූපද එහි හට ගනී ( ද්විජ කාය ) . තවත් පසුව ශරීර උෂ්ණත්වය ආදී දේ නිසා සෛල විභාජනාදියෙන් උතු රූප හට ගනී ( ත්‍රිජ කාය ). අවසානයේදී මව ගන්නා අහාරාදි ප්‍රත්‍යයෙන් අනෙක් ශාරීරික රූප හටගනී. ( චතුජ කාය )(මේ මනුෂ්‍යයන් වැනි ජලාබුජ සත්වයන්ගේ උත්පත්ති ක්‍රමයයි . ඕපපාතික සත්වයන්ගේ මුළු ශරීරයම එකවර කර්මජ රූපයෙන් පහළ වේ.චිත්ත වීථියක එක් සිතක් ඇතිවී නිරුද්ධ වූ පසු අනික් සිත ඇති වීම අස්ති නස්ති ප්‍රත්‍යයයි. සිතක් වුව හට ගැනීමට අවකාශය අවශ්‍ය වේ. එක් සිතක් තිබියදී අනෙක් සිත හට ගත නොහැක්කේ එහෙයිනි.එසේම එක් සිතක් සෑම විටම දෙවන සිතට ප්‍රත්‍ය වන නිසා එකවර සිත් දෙකක් දෙතැනක ඇතිවිය නොහැක. මේ නිසා එක් සත්වයෙක් බෙදී තවත් සත්වයෙක් සෑදීමට නොහැක.බෙදී යන්නේ නම් ඒ භෞතික ශරීරය පමණි. සෑම විටම එක් සත්වයෙකුට එක් සිත් පරපුරක් පවතිනුයේද එහෙයිනි.
ඇතැම් ඒක සෛලික සත්වයන් යයි සැලකෙන ජීවීන්ගේ ශරීරය බෙදී දෙකක් වේ.මේ අනුව එක් සත්වයෙකුගෙන් සතුන් දෙදෙනෙක් බිහි නොවේදැයි අයෙක් ප්‍රශ්න කළ හැකිය. නමුත් මෙවැනි ප්‍රශ්නයක් ව්‍යාකරණය කිරීමේදි ශාක වලද චිත්ත පරම්පරාවක් නොමති හෙයින් ඒවාටද පුනර්භවයක් හෝ කර්ම රැස් කිරීමේ ගුණයක් නොමැති බව සිහි තබා ගත යුතුය. නූතන විද්‍යාවේ වුවද ඒක සෛලික සතුන් වර්ග කර ඇත්තේ ශාක වලටත් වඩා පරිණාමීයව නොදියුණු ජීව ගුණය අඩු ජීවීන් ලෙස බවද සිහිතබා ගත යුතුය.එසේ වුවත් එවැනි ක්ෂුද්‍ර රූපයක් වුව සතෙකු වීමට ප්‍රමාණවත් වේ. සිත් හට ගැන්මට අවශ්‍ය වන ඉතා සුළු ප්‍රමාණයක් වූ රූපයන්ට අමතරව අනන්ත රූප කලාප සතෙකුට පවතින්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට හා හොද නරක කර්ම විපාක ලබා දීමටය. මේ නිසා එවන් ප්‍රාණීන් අහම්බෙන් සතුන් වුවද බෙදී වෙන්වීමෙන් අසත්ව සෛලයක් හා සත්වයෙක් සෑදෙන බව හෝ එසේ නොවේ නම් සත්වයා සිටියදී බෙදී වෙන්වන සෛලය වෙනත් සත්වයෙකුගේ චිත්ත පරම්පරාවකට නිඃශ්‍රය විය යුතු බවද ධර්මානුකූලව ව්‍යාකරණය කළ හැකිය.
සිතක් හට ගන්නා රූපය ක්‍රම්යෙන් පිරිහෙන පක්ෂයේ වන බැවින් භවන්ග චලනය රූප වස්තුවේ තිථිය ඇරබෙන මොහොතේම ( දෙවන චිත්තක්ෂණය ) සිදුවේ නම් ප්‍රබල අරමුණු සහිත චිත්ත වීථියද නැත්නම් දුර්වල චිත්ත වීථිද ඇතිවේ.වඩාත් දුර්වල චිත්ත වීථි වල ජවන සිත් නොවන නිසා ඒවායේ කර්ම රැස්කිරීමක් නැත.
ජවන සිත් වල ප්‍රත්‍ය විභාගය ආකර්ෂණීයය. පළමුව ඇතිවන් ජවන සිත දෙවනුව ඇතිවන ජවන සිතට ආසේවන ප්‍රත්‍යයෙන් දායක වේ. එක් වරක් තීන්ත ආලේප කළ බිත්තියක දෙවන වර තීන්ත ආලෙප කරන්නක් මෙන් එවිට දෙවන ජවන සිත පළමු සිතට වඩා ශක්තිමත් වේ . ඒ අයුරින් තුන්වන ජවන සිත දෙවැන්නට වඩාද , සිව්වැන්න තෙවැන්නට වඩාද ප්‍රබල වේ. නමුත් පස් වන ජවන සිත සතරවන ජවන සිතට වඩා දුර්වලය. මෙසේ සිදුවීම ගණිතමය සමීකරණයකින් දැක්විය හැකිය. ජනක සිතේ ප්‍රබල්තාවය P නම් එය කරුණු දෙකක් මත රදා පවතී.
1. රූප කලාපයේ ආයුෂ ගෙවීම නිසා එය දුර්වල වීමෙන්ද දිගින් දිගටම සිත් හට ගැනීම නිසා රූප කලාපයේ සිදුවන පිරිහීම හේතුවෙන් පසුව ඇතිවන සිත් දුර්වල වේ.
2. මුලින් ඇතිවන ජවන සිත ආසේවන ප්‍රත්‍යයෙන් ඊළග ජවන සිතට උපකාර වීම නිසා පසුව ඇතිවන සිත ශක්තිමත් වේ.
එකිනෙකට ප්‍රති විරුද්ධ පරාමිතීන් දෙකක් එකවර යෙදේ නම් ඒ ශ්‍රිතය උපරිමයක් හරහා යෑම සරල ගණිතමය සංසිද්ධියකි.
| ජනක කර්ම වල සාපේක්ෂ ශක්තිය සිත් අනුපිළිවෙලේ ශ්‍රිතයක් ලෙස |
මේ නිසා සතරවන ජවන සිත වැඩිම ප්‍රබලතාවයකින් යුතුවේ. ඉන් ඇතිවන කර්මයද වඩාත් ප්‍රබල වේ. අපරාපරිය වේදනීය ගුණයෙන් යුතුය. 3 වන හා 5 වන සිත්ද 2 වන හා 6 වන සිත් ද ආසන්නව සමාන වේ ඒවාද අපරාපරිය වේදනීය ගුණයෙන් යුතුය 7 වන සිත් 1 වන සිතට වඩා මදක් බලය වැඩිය එය උපපජ්ජ වේදනීය ගුණයෙන් යුතුය. පළමු සිත ඉතා දුබල නිසා මේ ආත්මයේදීම විපාක දෙන නැත්නම් අහෝසි වන කර්ම ඇති කරයි.ජවන සිත් වලින් කර්ම රැස්කරනු ලබයි. ජවන සිතේ යෙදෙන චේතනා චෛතසිකයේ බලය අනුව කර්මයේ බලය තීරණය වේ . අනෙකුත් චෛතසික වල යෙදීම් අනුව කුසල අකුසල , ලෝකොත්තර ආදී භේද ඇතිවේ.රහතන් වහන්සේලාට කර්ම සිදු නොවන හෙයින් රහත් ජවන වල යෙදෙන්නේ ක්‍රියා සිත්ය. ඒවායින් විපාක ලබාදෙනු නොලැබේ
.jpeg)

