කෙලෙස්‌ කුණු කෙලෙස්‌ දියෙන් සේදිය නොහැක

0

කෙලෙස්‌ කුණු කෙලෙස්‌ දියෙන් සේදිය නොහැක

පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි
සංවාදය - සුගත් වීරසූරිය

අමා මහ නිවනට රුවන් දොර විවරකරන උත්තම වූ මාවත කෙලෙස්‌ බරිත අපිරිසිදු සිතිවිලි මගින් සැදුම් ලබන්නක්‌ නොවේ. එනම් එය යළි උපතට තුඩු දෙන ලෝකයට අයත් සියලු දේවල් ප්‍රතික්‌ෂේප කිරීම කෙරෙන් ළඟාවිය යුතු අතිශය සැනසුම් සුවදායී තත්ත්වයකි. කිසිදු විඳීමක්‌ හෝ එයින් උපදින ඉල්පීමක්‌ හෝ තැවීමක්‌ද ඒ අමා නිවනෙහි නැති හෙයින් එය අවේදයිත වූ සුවයක්‌ බව බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක.

සැබවින්ම අනවරාග්‍ර (කෙළවර නොපෙනෙන) සංසාරය මේ ලෞකික ජීවිතාවලිය මේ මගින් සදහටම නිමාකරන නිවන පරම සුවයකි. ලෝකයට අයත් මිහිරි හෝ අමිහිරි අත්දැකීම්කිසිවක්‌ එහි නැත. එමෙන්ම පසිඳුරන්ට ගෝචර කිසිවක්‌ නිවනෙහි නැත්තා සේම ව්‍යාධිය, ජරාව හා මරණය ආදී ජීවන දුක්‌ද එහි නොවේ. එහි යළිදු උපත පිණිස සකස්‌වීමක්‌ නැතිවීම එයට හේතුවයි. මෙම උතුම් අතමිදීමට යා ගත නොහැකි අපමණක්‌ සත්වයෝ සංසාරයටම ඇද වැටෙති. එයට ඉවහල්වන හේතුකාරණා ගණනාවක්‌ මේ තාක්‌ දහම් කතාවට බඳුන් කළා ඔබට මතක ඇති. මේ කාරණාවත් එවැනිම වූ සත්වයාගේ සංසාර ගමන දිගුකරන හේතුවකි. එනම් ලෝකයේ අපමණක්‌ සත්වයෝ තම තමන් කෙලෙස්‌ මාරයාගේ වසඟයට හසුවී සිටිති. එහෙත් ඔවුන්ට ඒ ගැන ගැඹුරු නුවණින් වටහා ගැනීමේ කල්පනාවක්‌ නැත. ස්‌වකීය වූ භව ගමනයට හේතුවන විශ්මිත සිත් මෙසේ කෙලෙස්‌ කළුවර පටලයෙන් වැසී ඇති බව නොදන්නාගේ ඒ තත්ත්වය ඊළඟට හේතුවන්නේ ස්‌කන්ධයන්ගේ වර්ධනය සඳහායි. ස්‌කන්ධ වර්ධනය වීමෙන් දුක හා දොම්නස වැඩේ.

ලෝකයා තමා හැදෙන වැඩෙන ලොව ඇතුළත තිබෙන සැප යනුවෙන් කල්පනා කරන්නේ සිතට ප්‍රියශීලී වූ ආස්‌වාදනීය තත්ත්වයකි. එය ඉතා කෙටිය. තාවකාලිකය. අවසානයේදී ආදීනව රාශියකට මංපෙත් පාදා දෙමින් එය නිමාවට පත් වෙයි. ඉන් පසුව යළිත් දුකම ඇති වේ. මේ දුක යනු කුමක්‌ද යන්න පිළිබඳවත් කෙටියෙන් සොයා බැලීම අවශ්‍යය. කෙනකුට විඳින්නට අපහසු කෙනකු විඳින්නට අකමැති සියල්ල ඒ අනුව දුක්‌ය. මෙම කෙලෙස්‌ පසුබිමෙන් මනුෂ්‍ය සිත තුළ නිර්මාණය වන්නේ ගැටීමයි. නැතිනම් ද්වේෂයයි. සංසාරික අනාථබවින් අතමිදී මාරයාට නොපෙනෙන තැන වූ නිවනට වැඩ ඒ තුළ සනාථවන ගමනට මෙයින් බාධා පැමිණේ.

එහෙයින් සංසාර මහා සාගරයට වැටෙන මේ ශෝකාන්තයෙන් අතමිදී ගන්නට නම් කෙලෙස්‌ මාරයා ගැන නිබඳ අවදි වූ සිහියෙන් සිටිය යුතු වෙමු. එතකුදු වුවත් ලෝකයාගෙන් වැඩිම පිරිසක්‌ සිදුකරන්නේ එක කෙලෙස්‌ ජයග්‍රහණයක්‌ බිඳ වැටෙන විට තවත් එබඳුම වූ හෝ ඊටත් එහා ගිය කෙලෙස්‌ කඳු වළලු රැසකින් තම නිවන් මග ආවරණය කර ගැනීමයි. බොහෝ විට ඔවුන් මෙයින් සසරින් සසරට ඇවිද යනවා පමණක්‌ නොව සිර බන්ධනාගාරවල හැකිලිවලින් බැඳෙන තැනට වැටෙනවාද පෙනේ. මෙවන් ෙ€දනීය තත්ත්වයක්‌ තුළ මිනිසුන්ට ස්‌වකීය වූ මැරෙනසුළු ජීවිත අවදිකරගෙන නිවනට පිවිසීම තවදුරටත් සිහිනයක්‌ පමණකි. ලෝකයේ විසිතුරුතම දවටන තුළ දැවටී තමන් ළඟට එන තමන් අතට පත්වන සියලු දේ තුළ මේ කෙලෙස්‌ මාරයා සැඟවී සිට සංසාරය දිගුකරන බව පළල්කරන බව පුද්ගලයාට නොවැටහීම මෙහි ෙ€දාන්තයයි.

සිදුහත් ගෞතම බෝසතුන් වහන්සේ එදා බුදුබව ලබා සංසාරයෙන් එතෙරවන්නට කළ වෑයමේදීද කෙලෙස්‌ මාරයා මේ අයුරින්ම නේක සිරි විසිතුරු මවාපාමින් එහිමි අභිමුවට ආවේය. මුලින්ම ඒ සිත උමතු බවට පත්කරවන සුළු තෘෂ්ණාවක සැටියෙනි. මාර දූවරු තිදෙනෙක්‌ පැමිණ ඒ තෘෂ්ණා ගින්න අවුළුවාලන්නට වෙර දැරූහ. එහෙත් බෝසතාණන් වහන්සේ කෙලෙස්‌ නින්දාව නමැති ගර්භයෙහි රැඳෙනු බැඳෙනු වෙනුවට එයින් එළියටම එන්න සමත්කම් දැරුවෝය. එයින් මරතෙම දැඩි කෝපයට පත් වූයේ මරණයේ වෙස්‌ගෙන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ බුදුමඟ අවුරාලන්නට උපක්‍රම යෙදුවේය. දෘඪතර වූ (දැඩි) වර්ෂා, මහා සැඩ සුළං, ගිනිගෙන දැවෙන පාෂාණ, නිමක්‌ නැති ජල කඳින් යුත් ගලා බසින ගංගා, කන් අඩි පුපුරුවන තරමේ මහා මේඝ ගර්ජනා, විදුලි කෙටීම්, සත්වයන්ගේ බියකරු හඬා වැටීම්, මාරයාගේ ඒ මරණයේ ශක්‌තිමත් සේනාවෝ වූහ. එතෙකුදු වුවත් ඒ කිසිවකිනුත් සැළුණේ, බියට හෝ මුලාවට පත්වූයේ ඒ සිදුහත් බෝධිසත්වයන් වහනසේ නොවේ. ඒ වෙනුවට භයතු පට්‌ඨාන ඥනය හෙවත් සසරෙහි ඇති අතිශය බියකරු බව ගැන වූ සිතැඟිම උපදවා සිත කෙලෙසුන්ගෙන් නිරාවරණය කර ගත් එහිමි ඉදිරියේ මාරයාගේ ඒ මාර සේනා මල්වරුසා බවට හැරුණේය. අවසන උන්වහන්සේ සංසාරය ජයගත්හ. මාරයාට සොයා අල්ලා ගන්නට බැරි අමෘතය ස්‌පර්ශ කළහ.

මෙකල අමා නිවන වෙත පිවිස ගන්නා සත්වයන් බොහෝ සෙයින් අඩුම ඇත්තේත්, සසර අපායවලින් යුත් සංසාරයේ හැසිරෙන සත්වයන් අප්‍රමාණවී ඇත්තේත් ඒ සත්වයින් තුළ කෙලෙස්‌මල දියකර හරින වැඩපිළිවෙලක්‌ නැති නිසාය. ඒ තබා සිය සිත් සතන්වල කෙලෙස්‌ ඇත කියා හෝ කෙලෙස්‌ කියන්නේ මොනවාද කියාවත් ඔවුන් දන්නේ නැත. මෙම පසුබිම තුළ ඔවුහු කෙලෙස්‌ පර්වත බවට පත්වී සිටිති.

පෘථග්ජන පුද්ගලයන්ට මෙය අතිමහත්වූ බිහිසුණු විපත්තියක්‌, විපත්තියක අවදානමක්‌ වන්නේ එය සංසාරයෙහි දීර්ඝ ගමන තව තවත් දැඩිකොට තබන හෙයිනි. සැබවින්ම මේ අනතුර ගැන වුවමනාවෙන් සිතා කෙලෙස්‌ මුල් සිඳීමට වීරියෙන් කටයුතු නොකළහොත් ඔබගේ මරණයේ වාර ගණන කිව නොහැකි තරම් සංඛ්‍යාවක්‌ වනු ඇත. ජරාවෙහි හා ව්‍යාධියෙහිද අප්‍රිය සම්පයෝග දුඃඛයෙහිද ප්‍රිය විප්පයෝග දුඃඛයෙහිද අසීමාන්තික බව ගැන කියනුම කවරේද? එහෙයින් ඔබ එක කෙලෙස්‌ හැඟුමක ඵලය ළඟාකර ගැනීමට නොහැකිවූ විට උත්සාහ කළ යුත්තේ කෙසේ හෝ එය ළඟාකර ගැනීමට නොවේ. බැරිම තැන ඒ වෙනුවට වෙනත් ආදේශක ලෞකික ජයක්‌ වෙත අවතීර්ණ වීමට ද නොවේ. ඒ වෙනුවට ඔබ සෙවිය යුත්තේ ඒ හැඟුම් ඔබ සසරට බැඳ තබන මාර පාසයකැයි දැන අවබෝධකර ගැනීමේ මඟය. ඒ මග නිරාමිසය. වීතරාගීය, වීත ද්වේෂීය, වීත මෝහීය. බෙහෙවින්ම සැනසිsලි සුවදායකය.

සංසාර අනාථ බවින් අතමිදී මාරයාට නොපෙනෙන තැනවූ නිවන් දහම තුළට වැඩ ක්‌ලේෂ පරිනිර්වාණයෙනුත්, ස්‌කන්ධ පරිනිර්වාණයෙනුත් නිවී සැනහී ගත හැකි මං පෙත් පිළිබඳ වූ අපමණක්‌ තතු බුදුමුවින් වැගිර ගලා ගිය අමා දහම් තොරතුරුවල තිබේ. එම දහම් සිහි කිරීමෙන් සිත් දහම තුළ නිවී සැනහී යන අතර එයින් අපායගාමීත්වයට හේතුවන සිතැඟිද තුනීව යයි. මෙහිදී අපට සිහිපත්වන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර විටෙක පැවැති ධර්ම කථෝපකථනයකි.

'පින්වත් සාරිපුත්තයෙනි, ඔබට ලෞකික වූ ප්‍රිය හැඟීමක්‌ ඇති නොවූ කල සිතෙන්නේ කුමක්‌ද? බුදුහු ඇසූහ. හිමියනි, ලෝකය තුළ ජීවිතය ගෙවන විට සත්වයා යෑයි නිස්‌සාර සම්මුති සත්‍යයෙන් සැලකෙන සංස්‌කාර පුඤ්ජයීය චිත්තයෙහි ඇතිවන සිතුම තුන් ආකාර බව වැටහෙනවා. එනම් ප්‍රසන්න, අප්‍රසන්න හා ප්‍රතිශෝධන ආදී වශයෙනුයි. ඉදින් හිමියනි, මේ හැම හැඟීම් අනිත්‍ය වන්නේය. මේ නිසරු නිහර බව, හිස්‌ බව හැඟී ගිය විට මායාමය ප්‍රීතියක්‌ හෝ දොම්නසක්‌ මා සිත තුළ හට නොගන්නේය. පින්වත් සැරියුත් මහරහත් හාමුදුරුවෝ පිළිවදන් දුන්හ.

මේ අනුව කෙලෙස්‌ නිසා උපදින විකෘති ආශාවන් වැඩිවී සත්වයකුගේ සංසාර ගමන බෙහෙවින් දිගුවන්නේ දුටු ඇසූ ලෝකයට අයත්, පංචඉන්ද්‍රිය ගෝචරවූ සෑම සියලු දෙයක්‌ම හොඳයි, සැපයි, සුබයි ආදී වශයෙන් දිගින් දිගටම සිතීමෙන්මය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාහියදාරු චීරිය බමුණාට සදෙසා වදාළ අමා දහම මෙහිදීද සිහිපත් වේ. භාහිය දාරුචීරිය අපමණ කාලයක්‌ මිත්‍යාදෘෂ්ටිය නමැති අඳුරු කතරේ අතරමංව සිටියේය. රැයක දුටු සිහිනයකින් පසුදා අවදිවූ ඔහු හිමිදිරියේම ගව් ගණන් දුර ගෙවා බුදුන් දකින්නට ගියේ එක දහම් වදනක්‌ හෝ අසා සංසාර සැඩ පහරින් අතමිදී ගන්නටය. ඔහුට බුදුන් හමුවිය. එහෙත් ඒ වේලාව එහිමි පිඬුසිඟා වඩින වේලාවක වී. එතෙකුදු දාරුචීරියගේ බලවත් ඉල්ලීම පරිදි මහා කරුණාවෙන් බුදුහු ඔහුට එක දහම් ගාථාවක්‌ පමණක්‌ දේශනා කළහ. භාගිය, දුටු දේ දුටු තැනින් නවත්වන්නá ඇසූ දේ ද ඇසූ තැනින් තවත්වන්න. ඔබට යමක්‌ දැනුණේ වී නම් එතැනදීත් මෙසේම සිදුකරන්න. ඉන් එහාට ඒ ගැන කිසිවක්‌ සිතන්න එපා' බුදුපියාණන් වහන්සේ වදාළහ. මේ දහම් අසා අවසානයේ භාහිය සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයද ලැබූහ.

මේ අන්දමට බලද්දී වෛරයක්‌ කවරදාකවත් වෛරයකින් සංසිඳෙන්නේ නැත. එසේම සිත්වල පැන නැගෙන කෙලෙස්‌ කුණු කසටද තවත් එබඳුම කෙලෙස්‌ කසට දියකින් සෝදාහැරිය නොහැකිමය. එදා සම්මා සම්බුද්ධ පරිනිර්වාණය ආසන්න කාලයක්‌ වෙමින් පවතිද්දී ඒ අමාමෑණියන් වහන්සේත්, ආනන්ද හාමුදුරුවෝත් අතර පැවැති නික්‌ලේශී මේ කතා බහෙන් මේ සඳහාද අගනා දහමක්‌ ඔබ වෙත දේශනා කරන්නට සිතේ. මිගාර මාතු පාසාදයෙන් එළිමහනට වැඩමවා සිටි තථාගතයන් වහන්සේ අභිමුවට පැමිණියේ ඒ පින්වත් ආනන්ද හිමියන්ය. උන්වහන්සේ බුදු සිරුර දෙස බලා ශෝකයෙන් මෙසේ ඇසූහ.

'තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ ශරීරයේ පෙර පැවැති ශෝභාසම්පන්න බව දැන් බෙහෙවින් මිලානවී ගොස්‌ ඇත. අනේ හිමියනි, ඔබ වහන්සේට අනතුරක්‌දැයි මගේ සිතට බියක්‌ දැනෙනවා. එවිට බුදුහු මෙසේ වදාළහ. 'ආනන්දය, ඇයි ඔබට මා පැවැසූ අයුරු අමතකද? යොවුන් බව ඇති තැන මහලු බව තිබෙනවා. නිරෝගීකම තිබෙන තැන ලෙඩවීමත් තිබෙනවා. එසේම ජීවිතය ඇති කොතැනකත් මරණය තිබෙනවා'.

නිමාවක්‌ නොපෙනෙන අපේ සංසාර රෝගය සුවපත් කර ගැනීමට ගැඹුරින් සිතනවා නම් මේ බුදු වදන් කිහිපයේ පවා උගත යුතු පාඩම් කොතෙක්‌ නම් තිබෙනවාද? එහෙත් එවන් යහ දසුන් දෙස සිතවත නොයොමා කෙලෙස්‌ සයුරේ පිහිනමින් සසර සයුරේ දුඃත නවාතැන් ගොඩනගා ගැන්මට වෙහෙසෙන්නෝ ලෝකය තුළ සුලභ වෙති.
   



 

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top