5. පඤ්චක නිපාතය ථෙර ගාථා

0
5. පඤ්චක නිපාතය
1. රාජදත්ත ථෙර ගාථා
315
“මහණතෙම සොහොනට ගොස් සොහොනෙහි හැරදමනලද පණුවන් වටවී කන ස්ත්‍රියකු දුටුයේය.
316
“යම්හෙයකින් නින්දිතවූ මළහු දැක ඇතැම් කෙනෙක් පිළිකුල් කරත්ද, මට කාම ආශාව පහළවිය. අශුචි වැගිරෙන ශරීරයෙහි අන්ධයෙකු මෙන් වීමි.
317
“බතක් පැසෙන කාලයටත් අඩු කාලයක් ඒ ස්ථානයෙන් බැහැරවූයෙමි. මම සිහි ඇතිව යහපත් නුවණින් යුක්තව එක්පැත්තකට ගියෙමි.
318
“ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දොෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
319
“ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
2. සුභූති ථෙර ගාථා
320
“තම යහපතද අනුන්ගේ යහපතද බලාපොරොත්තුවන පුරුෂතෙම තමා නොයෙදිය යුතු දෙයෙහි යෙදෙන්නේද හිත සැපයට නොපැමිණෙන්නේය. එය මගේ අවාසනාවකැයි සිතයි.
321
“රාග නමැති දුකට පැමිණි සංසාර නමැති රට වනසා නොදමා භාවනා නමැති දෙවැන්නා නැතිව තනිවම අත්හරින්නේද, එය පාපයක් වන්නේය. නිවන් මෝරවන ගුණධර්ම සියල්ල අත්හරින්නේය. සම විෂම නොදක්නා බැවින් අන්ධයෙක්ම වන්නේය.
322
“යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශෙෂයෙන් දැනගනිත්.
323
සිත්කලුවූ, මනාවූ පැහැ ඇති, සුවඳ රහිතවූ, මල් යම්සේ (සුවඳ නොපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසනලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) නොකරන්නාහට සඵල නොවෙයි.
324
සිත්කලුවූ, මනා පැහැ ඇති, සුවඳ සහිතවූ, මල් යම්සේ (සුවඳපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) කරන්නාහට සඵල නොවෙයි.
3. ගිරිමානන්ද ථෙර ගාථා
325
“මෙඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සංසිඳී වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
326
“මෙඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
327
“මෙඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ රාග ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
328
“මෙඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ ද්වෙෂ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
329
“මෙඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ මෝහ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
4. සුමන ථෙර ගාථා
330
“නිවැරදි ධර්මයන්ගෙන් යම් ධර්මයක් මට ලැබේවායි බලාපොරොත්තුවන උපාධ්‍යායතෙමේ අමෘත මහා නිර්වාණය බලාපොරොත්තුවෙන් මට අනුකම්පා කළේය. මා විසින් කළ යුතු වැඩ අවසන් කරණලදී.
331
“උපද්‍රව නැති ධර්මයට පැමිණියෙමි. තෙමේම ප්‍රත්‍යක්ෂ කරණලදී. ඔබගේ සමීපයෙහි පිරිසිදු නුවණ ඇත්තේ සැක නැත්තේ ප්‍රකාශ කරමි.
332
“පෙර විසූ පරිදි දනිමි. දිවඇස පිරිසිදු කරණලදී. මා විසින් තමාගේ යහපතට පැමිණෙනලදී. බුදුන්ගේ අනුශාසනය කරණලදී.
333
“අප්‍රමාදවූ මට ඔබවහන්සේගේ සස්නෙහි හික්මීම අස්වනලදී. මා විසින් සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහ. දැන් නැවත ඉපදීමක් නැත.
334
“පිරිසිදු ශීලාදී වත් සමාදානයෙන් මට අනුශාසනා කරණලදී. අනුකම්පා කරණලදී. අනුග්‍රහකරණලදී. අතවැස්සා කෙරෙහි හික්මවනලද අවවාදය හිස්නොවීය.”
5. වඞ්ඪ ථෙර ගාථා
335
“මව මට අවවාද නමැති කෙවිටක් එල්ලකරන්නේද, යහපත්ය. මව විසින් අවවාද කරණලද මම යමෙකුගේ වචන අසා,
336
“පටන්ගන්නාලද වීර්ය ඇත්තේ රහත්වූයේ උතුම් බුද්ධත්වයට පැමිණියෙමි. ත්‍රිවිද්‍යා දත් නිවන් ප්‍රත්‍යක්ෂකරණලද දීමට සුදුසු රහත් කෙනෙක්මි.
337
“මාරසේනාව සිඳ කෙලෙස් නැතිව වසමි. ඇතුළතද පිටතද, යම් කෙලෙස් කෙනෙක් වූවාහුද,
338
“සියල්ලෝ ඉතිරි නැතිව සින්දාහ. නැවත නූපදී. ධර්මය නිපුන නැගනිතොමෝ මේ කරුණ කීවාය.
339
“ඒකාන්තයෙන් මා කෙරෙහිද තොපගේ පුත්‍රයා කෙරෙහිද සබඳකම් නැතැයි සිතමි. අවිද්‍යාදී කැලෑවක් තොප කෙරෙහි නැත. දුක කෙළවර කරණලදී. මේ අන්තිම ඉපදීමය. දැන් නැවත ඉපදීම යයි කියනලද උත්පත්තියක් මරණයක් සසරක් නැත.”
6. නදී කාශ්‍යප ථෙර ගාථා
340
“බුදුරජතෙම ඒකාන්තයෙන් මගේ යහපත පිණිස නෙරංජරානදිය වෙත ගියේය. මම යමෙකුගේ ධර්මය අසා වැරදි විශ්වාසය අත්හලේද ඒ බුදුන් වහන්සේය.”
341
“අන්ධයෙකු මෙන් වූයේ පෘථග්ජනයෙක්වූයේ මෙය සුද්ධියයයි සිතමින් උස් පහත් යාග කෙළෙමි. මම එහි ගිනි දෙවියා පිදීමි.
342
“අන්ධයෙකු මෙන් නුවණ නැතිව දෘෂ්ටීන් වෙත දිව්වෙමි. තදින් ගැනීම් සංඛ්‍යාත අල්වා ගැනීමෙන් මුළා වූයේ අපිරිසිදු දෙය පිරිසිදු යයි සිතුවෙමි.
343
මාගේ වැරදි වැටහීම සියලු භව පලන ලදී. දීමට සුදුසු ගින්නෙහි පුදමි, තථාගතයන් වඳින්නෙමි.
344
“මාගේ සියලු මොහයෝ නැතිවූහ. භව ආශාව පලන ලදී. ඉපදීම් නමැති සසර ක්ෂයවිය. දැන් නැවත ඉපදීමක් නැත.”
7. ගයා කාශ්‍යප ථෙර ගාථා
345
“ඒ මම දවසට තුන් වරක් උදෑසනද මද්දහනද සවසද උපවාස කාලයෙහි ගයාවෙහි දියට බැස්සෙමි.
346
“පෙර නොදන්නා කාලයෙහි මා විසින් යම් පාප කර්මයක් කරණ ලද්දේද එය දැන් මෙහි පා කර හරිමි. පෙර මෙබඳු දෘෂ්ටියක් විය.
347
“ධර්මයෙන් හා වැදගත් පදයන්ගෙන් යුත් යහපත් වචන අසා ඒ තත්වූ පරිදි තේරුම්ගෙන නුවණින් සිතුවෙමි.
348
“සෝදාහරණලද සියලු පව් ඇත්තෙමි. නිර්මලවෙමි. පරිශුද්ධවෙමි. සෝදන ලද්දේවෙමි. පිරිසිදුවූයේ පිරිසිදු වස්තු අයිති බුදුන්ගේ ළෙහි වැඩුණු පුත්‍රයෙක් වූයෙමි.
349
“අංග අටකින් යුත් මාර්ගයට බැස සියලු පව් පා කර හැරියෙමි. ත්‍රිවිද්‍යාවන් ලැබුවෙමි. බුදුන්ගේ අවවාදය කෙළෙමි.”
8. වක්කලී ථෙර ගාථා
350
“වාත ලෙඩකින් පෙළුනු මහා වනයෙහි වාසය කරන්නාවූ ප්‍රත්‍ය පහසු නැති මහණ ඔබ කෙසේ වාසය කරන්නෙහිද?”
351
“මහත්වූ ප්‍රීති සැපයෙන් ශරීරය පතුරුවමින් රළුවුවද ඉවසමින් වනයෙහි වාසය කරන්නෙමි.
352
“සතිපට්ඨානයන්ද, ඉන්ද්‍රියයන්ද, බල ධර්මද දියුණු කරමින් බොජ්ක්ධංගද වඩමින් වනයෙහි වාසය කරන්නෙමි.
353
“පටන් ගන්නාලද වීර්ය ඇති නිවන වෙත යොමු කළ සිත් ඇති නිතර දෘඪ වීර්යයෙන් යුක්තව සමගිවූ සමානයන් දැක වනයෙහි වාසය කරමි.
354
“ශ්‍රෙෂ්ඨවූ හික්මුනාවූ එකඟවූ සිත් ඇති බුදුන් සිහි කරමින් කම්මැලි නැතිව රෑ දාවල් වනයෙහි වාසය කරන්නෙමි.”
9. විජිතසෙන ථෙර ගාථා
355
“චිත්තය තොපගේ මාර්ගය කුඩා දොරටුවකින් ඇතෙකු මෙන් වලක්වන්නෙමි. මාර දැලක්වූ සිත, තෝ පාපයෙහි නොයොදවන්නෙමි.
356
“දොරටුවක් නොලැබෙන ඇතෙකු මෙන් තෝ වැලැක්කේ නොයන්නෙහිය. සිත නැමැති කාලකණ්නිය, නැවත නැවත වලක්වන්නේ පාපයෙහි ඇලුනෙක් නොවන්නෙහිය.
357
“ඇත්ගොව්වා අලුත අල්වා ගත් නොහික්මුණු ඇතෙකු යම්සේ නොකැමැති පරිද්දෙන් නවත්වයිද, මෙසේ තොප නවත් වන්නෙමි.
358
“ශ්‍රෙෂ්ඨ අසුන් දමනය කිරීමෙහි දක්ෂවූ උතුම් අස්ගොව්වෙක් ආජානීය අශ්වරාජයෙකු දමනය කරයිද, ශ්‍රද්ධාදී පඤ්චබලයෙහි පිහිටා තොප මෙසේ දමනය කරන්නෙමි.
359
“තොප සිහියෙන් බඳින්නෙමි. පිරිසිදුවූයේ චොදනා කරන්නෙමි. වීර්යය නමැති වියගහෙන් කම්පා කෙළේ සිතමින් ඈතට නොයන්නේය.”
10. යසදන්ත ථෙර ගාථා
360
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ.
361
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි.
362
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.”
363
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කුඹුරෙහි කුණුවූ බීජ මෙන් සද්ධර්මයෙහි නොවැඬේ.
364
“යමෙක් සතුටු සිතින් බුද්ධාවවාදය අසයිද, සියලු පව් නසා රහත් බව ප්‍රත්‍යක්ෂකොට පරම ශාන්තියට පැමිණ කෙලෙස් රහිතව පිරිනිවන්පායි.”
11. සොණකුටිකණ්ණ ථෙර ගාථා
365
“මා විසින් උපසම්පදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශාදියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී විහාරයෙහි එකට විසීමි.
366
“භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙන් වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ.
367
“නැති කළ බිය හා භයානක අරමුණු ඇති බුදුහු සඟල සිවුර අතුරා ගල්ගුහාවක සිංහයකු මෙන් සයනය කළ සේක.
368
“යහපත් වචන ඇති බුද්ධ ශ්‍රාවකවූ සොණතෙමේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සද්ධර්මය කීයේය.
369
“ස්කන්ධ පඤ්චකය දැන මාර්ග වඩා පරම ශාන්තියට පැමිණ කෙළෙස් රහිතව පිරිනිවන් පාත්.”
12. කොසිය ථෙර ගාථා
370
“යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විශෙෂ ගුණ උපදවන්නේය.
371
“මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉවසන්නේද, ඒ පණ්ඩිත තෙමේ ශක්තිමත් නම් වේ. ධර්මය දැන විශෙෂයට පැමිණෙන්නේය.
372
“ගැඹුරු මුහුද යම්සේ කම්පා නොවේද, ගැඹුරු ප්‍රඥා ඇති අර්ථයෙහි දක්ෂ පණ්ඩිතයා නොබෙදිය හැකිවේ. දැන ධර්මයන්හි විශෙෂ ගුණ උපදවන්නේයි.
373
“බහුශ්‍රැතවූ ධර්මධරවූ ධර්මය අනුව හැසිරෙන එබඳු පණ්ඩිතතෙමෙ ධර්මයන් දැන විශෙෂ පුද්ගලයෙක් වන්නේය.
374
“යමෙක් බුද්ධ වචනයාගේ අර්ථය දනීද අර්ථය දැන එසේ කරයිද, හෙතෙම අර්ථ දත් පමණකින් පණ්ඩිත වේ. ධර්මයන් දැන විශෙෂ පුද්ගලයෙක් වන්නේය.”
පස් වැනි නිපාතය නිමි.
    

Post a Comment

0Comments

Please Select Embedded Mode To show the Comment System.*

To Top