4. චතුක්ක නිපාතය
1. නාගසමාල ථෙර ගාථා
267
“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ මල් දරණ සඳුන් ගෑ ශරීර ඇති නැටුම් දත් ස්ත්‍රියක් තූර්ය ගසන කල මහමග මැද නටයි.
268
“මම පිඬු පිණිස හැසිරෙන්නේ අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දමන ලද මරු තොණ්ඩුවක් වැනි ඈ දුටුවෙමි.
269
“ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
270
“ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
2. භගු ථෙර ගාථා
271
“මම නිදිබර ස්වභාව ඇත්තේ විහාරයෙන් නික්මුනෙමි. සක්මනට බසින්නේ එහිම බිම වැටුනෙමි.
272
“අත් පා අතගා නැවත සක්මනට බැස්සෙමි. ඒ මම ඇතුළත සන්සුන්ව සක්මනෙහි සක්මන් කෙළෙමි.
273
“ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
274
“ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
3. සභිය ථෙර ගාථා
275
“අන්‍යයෝ අපි මෙහි මාරයා සමීපයට යමුයයි නොදනිත්. යම් කෙනෙක් එහි යන බව දනිත් නම් ඉන් කෝලාහල සන්සිඳෙත්.
276
“නොදන්නාහු යම් කලෙක්හි නොමැරෙන්නවුන් මෙන් ඉරියව් පවත්වත්ද යම් කෙනෙක් ධර්මය දනිත්ද ඔව්හු ලෙඩුන් අතරෙහි ලෙඩ නැතිව වසත්.
277
“ලිහිල් කළ යම් කර්මයක් වේද කිලිටිවූ යම් ව්‍රතයක් ඇත්තේද සැකයෙන් සිහි කටයුතු හැසිරීමක් වේද එය මහත් ඵල නොවේ.
278
“යමෙකුට සමාන සිල් ඇත්තන් කෙරෙහි ගෞරවයක් නොලැබේද, අහසට පොළොව මෙන් ධර්මයෙන් ඈත්වේ.”
4. නන්දක ථෙර ගාථා
279
“අශූචියෙන් පිරුණාවූ දුර්ගන්ධවූ මාරයාගේ පක්ෂයෙහිවූ කුණු වැගිරෙන ශරීරයට නින්දා වේවා. තොපගේ ශරීරයෙහි යමක් නිතර ගලා බසිත්ද, ඒ සිදුරු නවයකි.
280
“පැරණි මට ඇතිවූ අදහස් නොසිතනු මැනවි. තථාගතයන් වහන්සේ අවමන් නොකරන්නෙහිය. ඒ ශ්‍රාවකයෝ දිව්‍ය ලොකයෙහිත් ඇලෙන්නාහුය. මනුෂ්‍ය ලොකය ගැන කියනුම කවරේද?
281
“බාලවූ ප්‍රඥාව නැති නපුරු සිතිවිලි සිතන මොහයෙන් වැසුනාවූ එවැන්නෝ මාරයා විසින් දමන ලද බැම්මෙහි බැඳෙත්.
282
“යම් කෙනෙකුන් විසින් රාගයද ද්වෙෂයද නොදැනීමද සිඳින ලද්දේද නොසෙල්වෙන බැමි ඇති සර්වඥ පුත්‍රයෝ එහි නොඇලෙත්.”
5. ජම්බුක ථෙර ගාථා
283
“පස් පනස් වසක් ධූලි හා අශුචි දැරුවෙමි. මසකට වරක් ආහාර දිවගා බලමින් අළු ඉසීමෙන් බුරුල්වූ කෙස් අතින් උගුල්ලන්නේ විය.
284
“එක් පයකින් සිටියෙමි. ආසන දුරු කෙළෙමි. වේලුණු අශූචි කෑවෙමි. ආරාධනා නොඉවසීමි.
285
“මෙබඳු බොහෝ අපායට යන දේ කොට අපායට යන්නේ බුදුන් සරණ ගියෙමි.
286
සරණයාම බලව. ධර්මයෙහි යහපත් බව බලව, ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන්ගේ ශාසනය කරණලදී.”
6. සොනක ථෙර ගාථා
287
“ගයාවෙහි මැදින් මස පොහොය දිනයෙහි එකාන්තයෙන් මට යහපත් පැමිණීමක් වේවා. උතුම්වූ ධර්මය දෙශනා කරණ බුදුන් දුටුවෙම්ද එහෙයිනි.
288
“මහත් ආලොක ඇති පිරිසට නායකවූ ශ්‍රෙෂ්ඨත්වයට පැමිණි තමහට වඩා ශ්‍රෙෂ්ඨයක නැති බුදුන් දෙවියන් සහිත ලොකයාට ශ්‍රෙෂ්ඨ දැකීමකි.
289
“මහත් ඇතෙකු වැනිවූ මහාවීරයෙකුවූ මහා ආලොකයක් ඇති, කෙලෙස් නැති, සියලු කෙලෙස් නැති කළාවූ කිසිතැනක බියක් නැත්තාවූ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් දැක්කේද එය මගේ යහපත් දැකීමකි.
290
“ඒකාන්තයෙන්ම වැරදි විශ්වාස නමැති බැම්මෙන් බඳිනු ලදුව මා බොහෝ කාලයක් කිලිටිවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු ගැටවලින් සෝනක තෙරුන් මිදෙව්වේය.”
7. සම්භූත ථෙර ගාථා
291
“යමෙක් තෙමේ සැක සහිත කාලයෙහි වෑයම් කරයිද එතර වියයුතු කාලය හිස් කරයිද, නුවණ නැති බව හෙතුකොට බාලයා දුකට පැමිණෙයි.
292
“එබඳු පුද්ගලයාගේ මේ ආත්මයෙහිවූ අභිවෘද්ධිය කළුවර පක්ෂයෙහි හඳ මෙන් පිරිහෙත්. අයසටද පැමිණෙයි. මිත්‍රයන් සමගද විරුද්ධ වේ.
293
“යමෙක් සැක කළයුතු කාලයෙහි සැක කරයිද එතර විය යුතු කාලයෙහි එතරවේද නුවණින් යුක්තවීමෙන් පණ්ඩිතතෙමේ සැපයට පැමිණෙයි.
294
“ඔහුගේ අභිවෘද්ධිය සඳ මෙන් පිරෙයි. යසසටද කීර්තියටද පැමිණෙයි. මිත්‍රයන් හා විරුද්ධ නොවේ.
8. රාහුල ථෙර ගාථා
295
“දෙපැත්තෙන් යහපත්වූ සොඳුරු රාහුලයයි මට කීහ. යම් මම බුදුන්ගේ පුත්‍රද, යම් මම ධර්මයන්හි ඇස් ඇත්තෙමි.
296
“මා විසින් යම් පව් දුරු කළාහුද, යම් නැවත ඉපදීමක් මට නැද්ද දක්ෂිණාවට සුදුසු රහත් කෙනෙක්මි. නිවන පෙනෙන ත්‍රිවිද්‍යා ඇත්තෙකි.
297
“කෙමින් කටෙහි අසුවූ මසුන් මෙන් කාමයන්හි අන්ධය. දැලින් වැසෙන ලදී. ආශා නැමැති පියස්සෙන් වසනලදී. ප්‍රමාදවවන්ගේ නෑවූ මාරයා විසින් බඳින ලදී.
298
“ඒ කාමය මම උදුරා මාරයාගේ බැමි සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරා සිහිල් වූයෙමි. නිවුණෙමි.”
9. චන්දන ථෙර ගාථා
299
“රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්‍රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,
300
“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්‍රයාගේ මව දැක
301
“ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දොෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
302
“ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
10. ධම්මික ථෙර ගාථා
303
“දශකුශල ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරී පුද්ගලයා රකියි. යහපත්කොට පුරුදු කළ ධර්මය සැප ගෙනදෙයි. පුරුදු කළ ධර්මයෙහි මේ ආනිසංසය ධර්මචාරී පුද්ගලයා දුගතියකට නොයවයි.
304
“ධර්මය අධර්මය යන දෙක සමාන විපාක දෙන්නේ නොවේ. අධර්මය අපායට යවයි. ධර්මය නිවනට යවයි.
305
“එසේ හෙයින් ධර්මයෙහි ආශාව කරන්නේය. නොසෙල්වෙන බුදුන් කෙරෙහි සතුටුවන්නේ ධර්මයෙහි ආශාව කරන්නේය. ධර්මයෙහි සිටියාවූ ශ්‍රෙෂ්ඨ පිහිට අනුව යන ප්‍රඥා වන්තයෝ නිවනට පමුණුවත්.
306
“අවිද්‍යාව දුරුකරණලදී. තෘෂ්ණා දැල නසනලදී. ඒ මම ක්ෂය කළ සංසාරය ඇත්තෙම් දොස් නැති කලා සම්පූර්ණ සඳ මෙන් ක්ෂය කළ සංසාරය ඇත්තේ රාගාදී ක්ලේශයන් නැත්තෙක්වීමි.”
11. සප්පක ථෙර ගාථා
307
පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැ ඇති වලාකුලට බියෙන් තැතිගත්තාහු තමාගේ කූඩුව සොයා යති. එකල්හි අජකරණි නදිය මගේ සිත සතුටු කරයි.
308
“පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැති වලාකුලට බියෙන් තැතිගත්තාහු සැඟවීමට තැනක් නැතිව ලෙනක් සොයත්ද, එකල්හි අජකරණි නම් නදිය මගේ සිත සතුටුකරයි.
309
එහි දෙපසෙහි දඹ ගස් කවරෙකුගේ සිත් නො අලවත්ද, මගේ ලෙන පිටිපස ගං ඉවුර අලංකාර කරත්.
310
“ඒ මැඩියෝ සර්ප සමූහයාගෙන් දුරුවූ ඒ ස්ථානයෙහි මිහිරි හඬින් නාදකරත්. අද පර්වතය නදීන්ගෙන් ඈත් විය යුතු දිනයක් නොවේ. බිය නැති අජකරණි නදිය ඉතා යහපත්ය.”
12. මුදිත ථෙර ගාථා
311
“මම ජීවිකාව පිණිස පැවිදිවීමි. උපසම්පදාව ලබා ඊටත් වඩා ශ්‍රද්ධාව ලැබුවෙමි. තද වීර්ය ඇතිව භාවනා කෙළෙමි.
312
“ඒකාන්තයෙන් මේ ශරීරය බිඳේවා, මේ වීර්යයෙන් ශරීරයෙහි මස්පිඬු විසිරේවා, දනසන්ධි දෙකින් කෙණ්ඩා කැඩී වැටෙත්වා.
313
“මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
314
“මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
චතුක්කනිපාතො නිට්ඨිතො.
.jpeg)